Global searching is not enabled.
Skip to main content

Blog entry by Admin User

A Level ගැන දැනගත යුතුම කරුණු කිහිපයක්

A Level ගැන දැනගත යුතුම කරුණු කිහිපයක්

බොහෝ විට මේ ලිපිය A Level කරන දරුවො වෙනුවෙන් මම ලියන වැදගත්ම ලිපිය වෙයී කියල මම විශ්වාස කරනව. A Level කියන්නෙ මොන වගේ දෙයක්ද කියන එක පවා බහුතරයක් දරුවො හරියට තේරුම් ගන්නෙ විභාගය ලියල ඉවර උනාටත් පස්සෙ.  ඊට කලින් A Level වල ස්වභාවය ගැන තේරුම්
ගන්නෙ ඉතාම සුලුතරයක්. A Level හීනය බොහේ විට පළමු වරම හැබෑ කරගන්න සමත් වෙන්නෙ මේ සුළුතරයට අයීති කණ්ඩායම පමණයී. විභාගය පළමු වරම සමත් වෙන සුලුතරය අතරට යන්න ඔයාලටත් මේ දැනුම නිසැක වශයෙන්ම උපකාරී වෙයී.


ප්‍රධාන වශයෙන් මට කියලදෙන්න අවශ්‍ය වුන දේවල් 3 ක් තියනව.

  1. A Level වල තියන දරුණු තරගය කියන්නෙ මොකක්ද?
  2. තරගය නිසා A Level විභාගයට වෙන අමුතු දේවල් මොනවද?
  3. A Level තරගය දිනන්න මොනවද ඇත්තටම බලපාන්නෙ?

1. A Level තරගය කියන්නෙ මොකක්ද? 

   
මම මේ විභාගයට කියන්නෙ රාමු දෙකක් ඇතුලෙ හිරවුන තරගකාරී අමුතු විභාගය කියල. ඒ කියන්නෙ මොකක්ද බොලේ? 
අපි ඔය කියන රාමු දෙක ගැන පස්සෙ කතා කරමු. ඉස්සරවෙලම A Level තරගය කියන මොකක්ද කියල බලල ඉමු.
මේ කියන තරගය ගැන තේරුම් ගන්න ලේසි වෙන්න, අපි දන්න විභාගයක් වෙච්ච O Level එක්ක A level විභාගය පොඩ්ඩක් සංසන්ධනය කරල බලමු.

OL vs AL
සාමාන්‍යයෙන් O Level සමත්වීමේ ප්‍රතිශතය 73% ක් A Level
නම්  මේක 63% ක්. බැලූ බැල්මටම මේ දෙක අතර වෙනස 10% යී. එතකොට A Level අමාරුයී කියන එක ටොම් පචයක්ද? 🤔
මෙතනදි අපිට මගහැරුන දෙයක් තියනව. 

  • O Level සමත් වෙන හැමෝටම ඊලඟ කඩයිම වෙන A Level පන්තියට ගිහින් කැමති විශයක් හැදෑරීමේ හැකියාව ලැබුණත් 😊
  • A Level සමත් වෙල විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන හැමෝටම නිදහස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාලයකට ඇතුලුවීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ 😥

පොඩි උදාහරණයක් හැටියට 2019 අවුරුද්දෙ A Level විභාගය ලියපු අය ගත්තොත්. 

  • 281,786 ක් විභාගය ලියනව. ඒ අතරින්
  • 181,206 ක් විභාගය සමත්වෙල විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනව. ඒ අතරින්
  • 41,641 කට විතරයී ඇත්තටම මොකක් හරි විශ්වවිද්‍යාලයකට යන්න ලැබෙන්නෙ. මෙතනදි මේ 41,641  කියන්නෙත්  විශ්වවිද්‍යාල හීනය 100%ක්ම හැබෑ කරගත්ත අයම විතරක් නෙමෙයී. "උදාහරණයක් හැටියට කොළඹ වෛද්‍ය පීඨයට යන්න ආසාවෙන් ජීව විද්‍යාව හදෑරුවට අවස්ථාව
    ලැබුණෙ ලංකාවෙ ගැට්ටක තියන විශ්වවිද්‍යාලයක පරිසර උපාදියකට නිසා ඒ උපාදිය කරගෙන යන අයත් මේ ගොඩට ඇතුලත්" වැඩිම උනොත්
  • 6,000 ක් ඇති තමන් කැමති විශ්වවිද්‍යාලයට සහ පාඨමාලාවට ඇතුල්වෙල 100%ක් තමන්ගෙ හීනය හැබෑ කරගත්ත අය. මෙතනදි දුක හිතෙනම වැඩේ තමයී
  • 139,565 ක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු අයට කිසිම විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාවක් නොලැබෙන එක.
A Level Dream
ඔයාලට තේරෙනව ඇති 281,786 ක් දෙනා අතරින් තමන්ගෙ හීනය හැබෑ කරගන්නෙ ඇත්තටම 6,000 ක් විතරයී කියන එක. ප්‍රතිශතයක් හැටියට 2% යී. මේ නිසා තමයී A Level වලදි අමුතු තරගයක් ගොඩනැගෙන්නෙ. දැන් ඉතින් මේ ටික දැකල බයවෙන්න එපා.
තරගය නිසා A Level විභාගයට වෙන අමුතු දේවල් මොනවද කියලත් දැගෙනම පස්සෙ වෙලාවක හිමීට බයවෙමු. 😇

       


2. තරගය නිසා A Level විභාගයට වෙන අමුතු දේවල් මොනවද?


"ප්‍රශ්න පත්තරේ හදන අචාර්‍ය මහාචාර්‍ය වරු කට්ටිය නම් අමුම තක්කඩි ජාතියක්. ඇයී සරල කාරණා පවා පටලන විදිහට මේ ප්‍රශ්න හදන්නෙ? සමහර ප්‍රශ්න වලට දීල තියන වෙලාව කොහොමටවත්ම
මදි. මුන්ට හෙන ගහන්න එපැයී." 
මේ වගේ දේවල් දරුවොන්ට හිතෙනව කියල මම දන්නව. ඒත් අපි තේරුම් ගන්න ඕනෙ, විභහග ප්‍රශ්න සමහර අවස්ථාවල අසීරු වෙන්නෙ ප්‍රශ්න පත්තරය හදන අයගෙ වරදක් නිසා නෙමෙයී කියන එක.

ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල මම පොඩි උදාහරණයක් අරගෙන පැහැදිලි කරල දෙන්නම්.
හිතන්න මගෙ ලඟ තියනව කියල කොහෙන් හරි හම්බවුන Tab පරිඝනක 5ක්. දැනට මගෙ ලඟ තියෙන්නෙම 5ක් විතරයී කියල හිතමුකො. මම තීරණය කරනව මේක පන්තියෙ ඉන්න මම උගන්නන විශයට දක්ශම දරුවො 5ස් දෙනාට බෙදල දෙන්න.

ඔන්න දැන් මම ඔයාට පොඩි වැඩක් භාර දෙන්න හදන්නෙ. ඔයාට කරන්න තියන වැඩේ තමයී ළමයී 100 දෙනෙක් ඉන්න පන්තියකින් මම උගන්වන විශයට දක්ශම ළමයී 5ස් දෙනා තෝරගන්න පුලුවන් විදිහට ප්‍රශ්න පත්තරයක් හදල දෙන එක. පොඩ්ඩක් හිතන්න මේ වගේ වැඩක් ඔයාට භාර දුනොත් ඔයා කොහොමද මේක කරන්නෙ කියල?  

හිතන්න, ඔයා කවදාවත් අර පජාත A Level ප්‍රශ්න පත්තර හදන තක්කඩි වගේ ලමයින්ට අමාරු ප්‍රශ්න දෙන අමනුස්සයෙක් වෙන්නෙ නෑ කියල තීරණය කරල ඉතාම ලේසි ප්‍රශ්න පත්තරයක් හැදුව කියල. අපි හිතමුකො එහෙම හිතල හදපු ප්‍රශ්න පත්තරේට ළමයී 20ක්ම ලකුණු 100%ම අරගෙන තිබුණ කියල. දැන් කොහොමද ඔයා මට දක්ශම ලමයී 5ස් දෙනා මෙතනින් තෝරල දෙන්නෙ? 🤔 කෙලිය නේද තාප්පෙට? 

දැන් තේරෙනව නේද තේරීමක් කරන්න ප්‍රශ්න පත්තරයක් හදද්දි තෝරගන්න ප්‍රමාණයට වැඩිය වැඩි ප්‍රමාණයකට වැඩිම ලකුණු ගන්න බැරි විදිහට ප්‍රශ්න පත්තරය නොහැදුවොත් අමාරුවෙ වැටෙනව කියන එක? සරලවම කියුවොත් මෙතනදි නම් 5ස් දෙනෙක් තෝරගන්න නම් 5ස් දෙනාට වැඩිය ප්‍රමාණයක් 100% හෝ වැඩිම ලකුණු නොගන්න විදිහෙ ප්‍රශ්න පත්තරය හදන්න වෙනව. මේ ගැටලුවම තමයී A Level ප්‍රශ්න පත්තරය හදන පිරිසටත් විසඳගන්න වෙන්නෙ. අනික තේරීම කරන්න තියෙන්නෙත් දාස්ගානක් අතරින්. 

මේ අතරෙ මම නොකියපු තව දෙයක් තියනව. තියන අධික තරගය නිසාම පශ්චාත් භාගය පොළවෙ තියාගෙන කකුල් දෙක වතුරෙ දාගෙන වැඩිපුර වැඩ කරන ලමයී ගාන අවූරුද්දෙන් අවූරුද්ද වැඩි වෙනව. මේ හේතුව නිසාම වැඩිපුර ලකුණු ගන්න ළමයී ප්‍රමාණය අවූරුද්දෙන් අවූරුද්ද වැඩි වෙනව. ඒත් මේ වැඩිවීමට සාපේක්ෂව විශ්වවිද්‍යාල අවස්ථා ගාණන වැඩි වෙන්නෙ නෑ. මේ නිසාම විභාගය අවූරුද්දෙන් අවූරුද්ද තවත් අසීරු කරන්න සිද්ධ වෙන්න ලොකු සම්භාවිතාවයක් තියනව.

මම ඔයාලව තවත් බය කලාද ළමයී?
ආන්න ඒ බය පොඩ්ඩක් පැත්තකින් තියල අපි මේ වැඩේ ගොඩදාගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් බලමු.

              

3. A Level තරගය දිනන්න මොනවද ඇත්තටම බලපාන්නෙ?

ඔයාලව බය කරල ඉවරයි. දැන් මම හදන්නෙ ඔයාලව පුදුම කරන්න.
ඔයාල කලින් දැනගෙන හිටියද විභාගයට ලකුණු ගන්න කිසිම විශේෂ බුද්ධියක් අවශ්‍ය වෙන්නෙ නැති බව සහ ඇත්තටම බලපාන්නෙ වැඩ කරන ප්‍රමාණය සහ ක්‍රමයබව? මේක තේරුම් ගන්න ලේසි වෙන්න මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්.

ඕනැම පීඨයකට වැඩිම ලකුණු අරගෙන තේරෙන පිරිස හඳුන්වන්නෙ Merit List එක කියල. පල්ලෙහා තියෙන්නෙ පීඨ කිහිපයකට අදාලව Merit List එක හැදිල තියන හැටි. පොඩ්ඩක් මේ දිහා බලල කියන්න මොකක් හරි අමුත්තක් පේනවද කියල?

AL Merit

වැඩිපුරම ලකුණු ලබා ගත්ත ලමයී අතරෙ වැඩිපුරම ඉන්නෙ විභාගය පලවෙනි පාර කරපු අය නෙමෙයී, බොහෝ වෙලාවට දෙවෙනි හෝ තුන් වෙනි පාර විභාගය කරපු අය. පළවෙනි
පාර විභාගය කරද්දි නොතිබුණ දෙවනි පාර කරද්දි එයාලට තිබුණ දේ මොනව වෙන්න පුලුවන්ද? එයාලගෙ අම්මල Prebio 10 අඩංගු කිරිපිටි වත් පොවල ඊලඟ අවූරුද්ද වෙද්දි එයාලගෙ මොලේ හදිසි වර්ධනයක් වත් වෙලාද? 🤔 එහෙම නැත්නම් ඇත්තටම ලකුණු ගන්න බලපාල තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක්ද?

බුද්ධිය කියන එක ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරල පෙන්නන්න පුළුවන්.

  1. විශේෂ බුද්ධිය 
  2. සාමාන්‍ය බුද්ධිය


1. විශේෂ බුද්ධිය
 

  • විවේචනාත්මක චින්තනය. (Critical Thinking)
  • නිර්මාණශීලී චින්තනය. (Creative Thinking)
  • විශ්ලේෂණාත්මක චින්තනය (Analytical Thinking)
විශේෂ බුද්ධියට අයීති කොටස් අවශ්‍යතාවය මත කොච්චර උත්සාහ කලත් ලේසියෙන් වර්ධනය කරගන්ත පුළුවන් දේවල් නෙමෙයී. බොහෝ විට ලෝකය වෙනස් කරපු විද්‍යාඥයො වගේ අයට මේ කොටසක් අයීති බුද්ධිය වැඩිපුර පිහිටල තියනව. 

2. සාමාන්‍ය බුද්ධිය 

  • මතකය (Memory) 
  • සාමාන්‍ය තර්කනය (Logics)
  • සාමාන්‍ය විශ්ලේෂණය (General Analytics)

සාමාන්‍ය බුද්ධියට අදාල සියලුම කොටස් හරි ක්‍රමවේදයට අනුගමනය උත්සහ කලොත් ඕනෑම කෙනෙක්ට වර්ධනය කරගන්න පුළුවන්. සරලව කියුවොත් සාමාන්‍ය බුද්ධිය වර්ධනය ඒ සඳහා අනුගමනය කරන ක්‍රමය සහ ප්‍රමාණය මත රඳා පවතිනව.

විශය නිර්දේශය සහ කාලය කියන රාමු දෙක ඇතුලෙ කොටු වුන A Level තරග විභාගය ජයගන්න ඇත්තටම බලපාන්නෙ සාමාන්‍ය බුද්ධියම විතරයී. වෙනත් විදිහකට කියුවොත්, 

  • වැඩ කරන ක්‍රමය සහ
  • වැඩ කරන ප්‍රමාණය විතරයී.

කොටින්ම කියනව නම් මේ මොහොතේ ඔයා ඉන්න මට්ටම වත්, O Level ප්‍රතිඵලය වත්, මේ මොහොතේ ඔයාට තියන බුද්ධි ප්‍රමාණය වත් මත A Level ප්‍රතිඵලය රඳා පවතින්නෙ නෑ. ඒක තනිකරම රඳා පවතිනෙ විභාගය දක්වා ඔයා වැඩ කරන ක්‍රමය සහ ප්‍රමාණය මතම විතරයී. මම උඩින් පෙන්නපු උදාහරණෙදි පළවෙනි පාර ගොඩ දාගන්න බැරි වුන අය දෙවනි පාර වෙද්දි වෙනස් කරගත්ත එකම දේ තමයී වැඩ කරන ක්‍රමය සහ ප්‍රමාණය සහ ඒ ඔස්සේ වෙනස් කරගත හැකි සාමාන්‍ය බුද්ධිය.
තව දෙයක්. ඇත්තටම විශේෂ බුද්ධිය වැඩිපුර තියන අයින්ස්ටයින් වගේ කෙනෙක් පවා එක පාරටම ගෙනල්ල A Level  විභාගය ලියන්න දුන්නත්, බොහෝ විට එයත් විභාගය අසමත් වෙන්න ලොකු සම්භාවිතාවයක් තියනව. ඇත්තටම එහෙම වෙයීද?
මේ කියන සියළුම දේවල් තොරතුරු, හේතු සහ උදාහරණ සහිතව මම ඉස්සරහට යද්දි ඔප්පු කරල පෙන්නන්නම්. 😎

වැඩේ ඉවර කරන්න කලින් විභාගය ගොඩදාගන්න වැදගත්ම වෙන දේ ආයෙමත් මතක් කරන්නම්,
👉වැඩ කරන ක්‍රමය
👉වැඩ කරන ප්‍රමාණය
එතකොට මොකක්ද මේ වැඩ කරන්න ඕනෙ ක්‍රමය කියන්නෙ? ඒ ගැනත් මම ඉස්සරහට කියල දෙන්නම්.

 

           
 
     

  • Share

Reviews